"ආදරය නො පෙන්නුවට මවක් සේ කුළුපග නො වුනට පියෙකුගේ සෙනෙහස රාත්‍රිය මෙන් නිහඬයි, මහමෙරටත් වඩා උසයි, සත් මහා සමුදුරත් වඩා ගැඹුරුයි."
මාගේ පියාගේ දින පොතේ පිටු කිහිපයක් අතරින් උපුටා ගත් පහත සටහන් කියවන සැම වතාවකම මා නෙතට කඳුලක් ගෙන එයි.
පියවරුන්ගේ දිනයේදී ඒ අමිල වූ පිය සෙනෙහසට මෙය උපහාරයක්ම වේවා!!!
සඳුදා 1991/04/08
--------------------------
" එක පාරටම හදවතට දැනුණේ දරාගත නොහැකි පාලු කාන්සි ගතියක්....... ඒත් හිත හදාගත හැකි දෙයකුත් තියෙනවා.තව දින දෙක තුනකින් අපේ ඇසුරට එන ලේ කැටි සිඟිත්තා ගැන සිතමින් ...... කොහොම උනත් ජ'පුර රෝහලේ 4 වාට්ටුවේ 12 කාමරයෙන් ජයා නංගිත් එක්කලා එලියට පියමන් කරන විට කිසි දාක නොදැනුන ආකාරයේ පාලු ගතියකුයි දැනුනේ... ගෙවී ගිය මාස නමයකට වැඩි කාලයක් තුළ ඔබ උසුලන ලද දරන ලද අපහසුතාවන් මා තරම් දන්නා වෙන කෙනෙකු නැත.මහපොළොව මෙන් ඔබ ඉසිලූ කරදර අපහසුතා කව්රුන් වෙනුවෙන්දැයි මම දනිමි.ඒ ඔබ හෝ මා වෙනුවෙන් නොව මෙලොව එලිය දකින්නට මග බලා සිටින සිඟිති දරු පැටියකු වෙනුවෙනි.ඔබ පැතු දහසක් බලාපොරොත්තු ඉටුකරදෙමින් ඔබ පැතු ආකාරයේ දරු සිඟිත්තකු ඔබට ලැබේවා........"
අඟහරුවාදා 1991/04/09
-------------------------------------------
" 09 දින මා දවල් 12.00 ට ජ'පුර රෝහලට ගමන් කළා නොව වේගයෙන් දුව ගියා යැයි මට සිතේ.මා ගමන් ගත බසයේ වේගය මදි යැයි කිහිප වතාවක් මම මටම කියා ගත්තෙමි............ ලොකු මල්ලි දෝතින් රැගත් සිඟිත්තා ඇතිව සතුටු සිතින් සිටිනවා මම දුටුවෙමි....අවරුදු ගණනක් පෙරුම් පුරමින් ඔබ අපේක්ෂා කල උතුම් මව් පදවිය ඔබට ලැබී ඇත.මාගේ නෙතට සතුටු කඳුළු ගලා අවේ එහෙයිනි...ඔබ සැත්කමට පෙරදා රාත්‍රී ආහාරය ගත පසු මා ඔබට දුන්නේ මිහිරි ඇපල් ගෙඩියකි.ඔබ අද උපයාගෙන ඇත්තේද ඇපල් ගෙඩියක් බඳු මිහිරි ලස්සන කුමාරයෙක්! ඒ ඔබ ලැබූ ජයග්‍රහණයයි...තෙරුවන් සරණ සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ඔබටත් පුතාටත් නිබඳ ව ලැබේවා!!!........"
----------------------------------
" ........... සැතපුම් හතළිහක් එක දිගට දුම්රියේ ගමන් කළාම හිතට දැනෙන්නේ පුදුම ගමන් මහන්සියක් , තෙහෙට්ටුවක්. ගෙවත්තට ඇතුළු වන විටම ඉස්සරහ දොර ඉදිරියෙන්ම රුකු පුතා වඩාගෙන හිටියා. මා දුටු ගමන් පුතා සුපුරුදු පරිදි සිනහ මලක් වුනා.ඇත්තෙන්ම ඒ මල් කැකුල මාගේ ගත පුරා වෙලී තිබුණු වෙහෙස මහන්සිය දුරු කරන ලා සිසිල් පවන් රැල්ලක් මෙන් දැනුනා.මට එසේ දැනුනේ මගේම පුතු මා හා සිනාවෙන් වෙලී ගිය නිසාවෙන්ම නොව එය නිර්මල වූ නිකෙලෙස් වූ සුපිරිසිදු මිහිරි සිතක මහිමය නිසාවෙනි. මාගේ පුතු මාගේ එකම පුතු යැයි සිතා මාගේ පුතා සමග දැඩි ලෙස ආත්මාර්ථයෙන් බැඳීමට මම නො කැමැත්තෙමි. ඊට වඩා මගේ හදවත මට පවසන්නේ සෑම දරුවෙකුම මාගේ දරුවන් ලෙසයි. ඒ ඔවුන් සැම ලස්සන මල් වන බැවිනි. මා සැබවින්ම මා පුතුට ආදරය කළා වන්නේ, අනෙකුත් එවැනි පොඩි ළමුන් හා ඇලී- ගැලී -සිටිනා තරමටයි.
පුතාගේ සිනහව මාගේ සිරුර පුරා හමා ගිය සිහිල් පවනක් මෙන් මට දැනුනේද එහෙයිනි.........."
අම්මා සඳකි පිතු ඒ ලොව හිරුය රිදී
ReplyDelete